දීර්ඝ කාලීන බදු - කාර්යය පරිපාටිය
- දීර්ඝ කාලීන බදු දීමේ ක්‍රියාවලිය
01. විසිරි ඉඩම් කච්චේරියක් මඟින් දීර්ඝ කාලීන බදු පදනම මත ඔප්පු ලබා දීම සඳහා නිර්දේශ කරන ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය අනුව නිර්දේශයට පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම සඳහා අදාළ වාර්තා ලබා ගැනීම
I. අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
II. තත්ත්ව වාර්තාව ( ඇමුණුම 1 ආකෘතිය අනුව ඉඩම් කොටස අයත් ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරි වෙතින් පිටපත් 04 කින් ලබා ගත යුතුය.)
III. අනුරේඛනය ( ඇමුණුම 2 හි සඳහන් ආකෘතිය මඟින් මැනුම් නියෝග ලේඛනයෙන් අංකයක් ලබා ගෙන පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කච්චේරි මිනින්දෝරු වෙත මැනුම් නියෝගයක් යැවිය යුතුය.)
IV. පලාත් පාලන ආයතනයේ එකඟතාවය ( ඉඩම් කොටස නගර සභා සීමාවේ නම් නගර සභාවේ එකඟතාවය ද, ප්‍රාදේශීය සභා සීමාවේ නම් ප්‍රාදේශීය සභාවේ එකඟතාවය ලබා ගත යුතුය)
V. 19 පරිශිෂ්ඨය ( ඇමුණුම 3)
VI. 17 පරිශිෂ්ඨය (ඇමුණුම 4)
VII. බදු ගෙවන බවට දිවුරුම් ප්‍රකාශය (ඇමුණුම 5)
VIII. 21 (2) නිවේදනය ( ඇමුණුම 6)
02. ඉහත දක්වා ඇති සියළුම ලේඛන පිටපත් 03 කින් යුතුව පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම. මෙහිදී සියලුම ලේඛන නිවැරදිව සම්පූර්ණ කර තිබිය යුතුය.
03. පළාත් ඉඩම් කොමසාරිස් , ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉහත ලේඛන යොමු කර දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම අනුමත වූ පසු ඒ බව ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දෙනු ලැබේ.
04. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය අනුව,
- I. පිඹුරු පත ලබා ගැනීම සඳහා ආ.ඒ.අ. 8 ආකෘතිය (ඇමුණුම 7) මඟින් මැනුම් නියෝගයක් පිටපත් දෙකකින් යුතුව දිස්ත්‍රික් මැනුම් අධිකාරී වෙත යොමු කළ යුතුය. ආවරණ ලිපියේ පිටපත් ඉඩම් කොමසාරිස් ජනරාල්, පළාත් ඉඩම් කොමසාරිස්, බදුකරු වෙත යුවිය යුතුය.
සැ.යු. : මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපියේ පිටපතක් සහතික කර යැවිය යුතුය
II. පිඹුරු පත සකස් කිරීමට අදාළ මැනුම් ගාස්තු ගෙවන ලෙස දිස්ත්‍රික් මිනින්දෝරු විසින් දැන්වූ පසු අදාළ මැනුම් ගාස්තු ගෙවන ලෙස බදුකරුට දැන්වීම
III. පිඹුරුපත ලද පසු,
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ ලිපියේ සඳහන් කර ඇති බදු දීම අනුමත කර ඇති වර්ෂයට අදාළ තක්සේරු වාර්තාව ලබා ගැනීමට ප්‍රධාන තක්සේරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම. ආවරණ ලිපියේ පිටපත් ඉඩම් කොමසාරිස් ජනරාල්, පළාත් ඉඩම් කොමසාරිස්, බදුකරු වෙත යැවිය යුතුය.
සැ.යු. : මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපියේ පිටපතක් සහ පිඹුරු පිටපතක් සහතික කර යැවිය යුතුය
- IV. බදු රේඛා චිත්‍රය ලබා ගැනීම සඳහා ආ.ඒ.ඒ. 118 ආකෘතිය (ඇමුණුම 8) මඟින් පිටපත් දෙකකින් යුතුව දිස්ත්‍රික් මැනුම් අධිකාරී වෙත යොමු කළ යුතුය. එක් පිටපතක් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කළ යුතුය.
සැ.යු. : මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපියේ පිටපතක් සහතික කර යැවිය යුතුය
- V. බදු රේඛා චිත්‍රය සකස් කිරීමට අදාළ ගාස්තු ගෙවන ලෙස දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරි විසින් දැන්වූ පසු අදාළ ගාස්තු ගෙවන ලෙස බදුකරුට දැන්වීම
- VI. තක්සේරු වාර්තාව ලද පසු,
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ ලිපියේ දැක්වෙන පරිදි, ඉඩම බදු දීම අනුමත වූ වර්ෂයේ සිට වර්තමානයේ බදු ගණනය කරන වර්ෂය දක්වා අදාළ වාර්ෂික බදු මුදල් හා වාර මුදල / දඩ මුදල ගණනය කර ජනපද නිලධාරි වෙත නිවැරදිභාවය පරීක්ෂා කිරීමට ඉදිරිපත් කර, පසුව සහකාර ප්‍රාදේශීය ලේකම් වෙත අනුමැතියට ඉදිරිපත් කිරීම.
VII. අනුමැතිය ලද පසු බදු ගිවිසුම මඟින් බදු මුදල් ගෙවන ලෙස බදුකරුට දැන්වීම (ආදර්ශයක් ඇමුණුම 9 මඟින් අමුණා ඇත) පිටපතක් ග්‍රම නිලධාරි වෙතද යොමු කළ යුතුය.
VIII. බදු මුදල් ගෙවන ලද ලදුපතේ සහතික කළ පිටපතක් දීර්ඝ කාලීන බදු ගොනුවේ ඇතුළත් කිරීම
IX. බදු මුදල් ගෙවූ පසු ඇමුණුම 10 මඟින් නිරවුල් භුක්තිය භාර දෙන ලෙස ග්‍රාම නිළධාරි වෙත දැනුවීම
X. භුක්තිය භාර දුන් පසු, පළාත් ඉඩම් කොමසාරිස් මඟින්, ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත බදු මුදල් ගෙවන ලද ලදුපතේ සහතික කළ පිටපතක්, තක්සේරු වාර්තාවේ සහතික කළ පිටපතක් සමඟ ඉඩමේ නිරවුල් භුක්ති භාර දුන් දිනය දන්වා යැවීම.
XI. බදු රේඛා චිත්‍රය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවූ බව දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරී දන්වා එවන ලිපිය ගොනුවට ඇතුළත් කිරීම. මෙහි බදු රේඛා චිත්‍ර අංකය ඉතා වැදගත් වේ.
05. ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් බදුකරයේ කෙටුම්පතක් සකස් කර පිටපත් 4 කින් යුක්තව එය ප්‍රතිශෝධනය සඳහා එවනු ලැබූ පසු, බදුකරයේ නිවැරදිභාවය පරීක්ෂා කර බදුකරු, ගෙන්වා බදුකර පිටපත් වල නියමිත ස්ථානයන්හි ඔහුගේ අත්සන, ජාතික හැදුනුම්පත්අංකය සහ නිකුත් කළ දිනය යොදා. සාක්සිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් නිල මුද්‍රාව සහිතව නැවත ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීම.
06. බදු ඔප්පුව ලද පසු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර මුල් පිටපත බදුකරුට ලබා දිය යුතුය. අනු පිටපත බදුකර ගොනුවේ අමුණා තැබිය යුතුය. බදුකරයේ සහතික කළ පිටපතක් පළාත් ඉඩම් කොමසාරිස් වෙතද, බදුකරු නමින් පවත්වාගෙන යන ගොනුවේ අමුණා තැබිය යුතුය.
07. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 96/05 අනුව ලෙජර පිටපතක් සකස් කර ලෙජර පිටපත් ගොනුවේ ගොනු කළ යුතුය.
08. බදුකරයේ බදු ගෙවන ලෙස නියම කර ඇති දිනට මසකටවත් පෙර බදු ගෙවන ලෙස දන්වා බදුකරු වෙත ලිපියක් යැවිය යුතුය.
09. බදු ගෙවූ ලදුපතේ සහතික කළ පිටපතක් බදුකරු නමින් පවත්වාගෙන යන ගොනුවේ අමුණා තැබිය යුතුය.
10. අදාළ ලෙජර පිටපතෙහි බදු ගෙවූ බව සඳහන් කර විෂය ලිපිකරු අත්සන් කර මාණ්ඩලික නිලධාරිගේ අත්සන ලබා ගැනීම.
11. බදු ගෙවූ පසු බදු ගෙවන්නන්ගේ නාම ලේඛනයේ ඇතුළත් කළ යුතුය.
12. මාසිකව බදු අය කර ඇති ප්‍රමාණය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත දන්වා යැවිය යුතුය.
13. බදු අයකිරීම සම්බන්දව ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 96/05 අධ්‍යනය කර කටයුතු කළ යුතුය.